Photographed By : Suresh S. Weerasinghe
මගේම කියල කැමරාවක් ගන්නෙ 2011 අවුරුද්දේ. කැමරාව ගන්නකොට ඡායාරූපකරණය කියන කලා මාධ්‍යයේ දිග පළල මොකක්ද කියලවත් මම දන්නෙ නෑ. මේ පින්තූරෙ ගන්නකොටත් කැමරාවෙන් ආලෝකය පාලනය කරන ක්‍රම ගැන හරි හැටි අවබෝධයක් මට නෑ. හැබයි කොහේ හෝ හැංගුන අමුතු නහරයක් මට තිබ්බ කියන එක කිව්වෙත් මට උගන්නනපු ගුරුවරයෙක්. හැබයි ඒ මම ඡායාරූපකරණය ගැන අධ්‍යාපනය හදාරන්නට ගිය මුල් අවදියේ. එතකොට මේ පින්තූරය අරගෙනත් අවුරුදු 3කට වැඩියි. හැබයි දැන් මේ පින්තූරය දිහා බලන මටත් තේරෙනව අර හැංගුනා කියපු අමුතු නහරෙ ඒකාලෙත් තිබිල කියල. ඒකට හේතුව මේ පින්තූරය මම රාමුගතකර තිබෙන ආකාරයත්, පින්තූරය ග්‍රහනය කරෙගෙන තිබෙන මොහොත සහ දර්ශණ කෝණය. එහි සාර්ථකවයක් මම දකිනව.
2011 අප්‍රියෙල් මාසෙ නිවාඩුවට මගේ ගමේ ගියපු වෙලාවක මම ගත්ත පින්තූරයක්. ඒ කලංකුට්ටියේ. මේ ගම තියෙන්නෙ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ.
කලාවැවෙන් පටන් අරගෙන සැතපුමට අඟලක බැස්මකින් ගලාගෙන යන කලා ඔය ගලනේත් මගේ ගමේ උතුරු කෙලවරින්. කලා ඔයට ගිය වෙලාවක මට මේ අවස්තාව හමුවන්නේ අහඹු ලෙසටයි. ඔයෙන් අවදානම් සහිතව එගොඩ වන්නට තිබෙන මේ ඒ දණ්ඩ මෙහි පේනවාට වඩා තුන් ගුනයක් පමණ දිගින් යුක්තයි. ඔයට නැමුනු විශාල කුඹුක් ගසක අත්තකට කෙලවරින් හේත්තු කරගත් ලී කොටයකින් කවුරුන් හෝ විසින් මෙය නිර්මාණය කරන්නට ඇති. මෙයින් ගමන් කිරීම ඉතා අවධානම් ගමනක් බව මේ අම්මත් පුතාත් (සමහරවිට අත්තම්මා සහ මුනුපුරා වෙන්නත් පුලුවන්) දෙස බලා සිටි මට ඒ හැඟීම එදා දැනෙන්නට විය. නමුත් ඒ අවදියේ ඡායාරූපයකින් නැතහොත් කලා කෘතියකින් හැඟීමක් එලිදක්වන ආකාරය ගැන මට අවබෝධයක් නොතිබුනි. නමුත් අද මේ ඡායාරූපය දෙස බලන මට සාර්ථක දේවල් කිහිපයක් පෙනෙන්නට ගන්නවා. මේ පහලට බසින මොහොතේ අවදානමේ උපරිම අවස්තාව මට පෙනෙන්නට වනවා. පුලුල් කෝණයකින් මේ අවස්තාව හසුකරගත්තා නම් ඒ දණ්ඩේ දිග ප්‍රමාණය ගැන පින්තූරය රසවිඳින කෙනෙකුට පැහැදිලි අවබෝධයක් දීමට මට පුලුවන් කමක් තිබුනි. නමුත් එසේ වූවානම් මෙහි ප්‍රධාන අරමුණුන වන අම්මා සහ පුතා මීට වඩා කුඩා වට පෙනෙන්නට වනවා. එසේ වූවා නම් වැඩි ඉඩ ප්‍රමාණයක් මෙහි පසුබිමට වැය වනවා. එහෙයින් මේ දෙදෙනා මේ ලෙසට ඉස්මතුවී නොවෙන්නට තිබුනා. දැන් මේ රාමුව දෙස බැලීමෙන් පින්තූරය තුලින් මෙහි ඇති අවධානමත්, අම්මා සහ පුතා අතර ඇති බැඳීම මොන ආකාරයකදැයි පැහැදිලි කතාවක් මටම නිර්මාණය කරගන්නට පුලුවන්.
එදා Nikon D90 කැමරාවෙන් මෙම ඡායාරූපය ගන්නාවිට අලුත ගත්ත කැමරාවට සති 3ක් විතර ඇති.
2011 වර්ෂයේ අප්‍රියෙල් මස 11 වන දින දහවල් 1.44 ලෙස මෙහි සටහන්ව තිබෙනවා.
සටහන සහ ඡායාරූපය : සුරේෂ් එස්. වීරසිංහ
2020.06.13
