Sunday, April 5, 2020

"උතුරා යන සතුට"


Photographed By : Suresh S. Weerasinghe

ඡායාරූප ශිල්පියෙක් ලෙස බහතෝරන කාලයේම මා හට වාසනාව ගෙනා ඡායාරූපය මෙයයි කියන්නට හැර අන් කිසිවකුත් නොව. එකල මම ජාතික ඡායාරූප කලා සංගමයේ ඩිප්ලෝමාව හදාරන කාලයේ දෙවන වසරේ සිසුවකු ලෙස අධ්‍යාපනය ලබන අවදියකි. අපට වාර්ෂිකව පැවැත්වෙන වැඩමුළු කිහිපයකි. ඉන් අනිවාර්ය එකක් විහාරමහදේවී උද්‍යානයේ සිදුකෙරේ. සාමාන්‍යයෙන් සිදුකෙරෙන පිළිවෙතක් තිබේ. උදෑසන සිට සවස් වනතුරු විද්‍යාර්ථයින් හට රිසිසේ ඡායාරූප ගැනීමට අවස්ථාව සලසාදෙයි.කිසිවකුටත් බාධාවක් නොවන පරිදි එම කටයුත්ත කරගැනීමට උපදෙස් අපහට ලැබේ. විශේෂ අවසරයක් හට අප සංගමයේ විද්‍යාර්ථයින්ට එම අවස්ථාව ලැබේ. එය අප සංගමය හරහා පමණක් සිදුවන්නකි. මෙමෙ වැඩමුළුවේ විශේෂත්වය වන්නේ එහිදී ලබාගන්නා හොඳම කලුසුදු ඡායාරූපයට විශේෂ ශූරතා පලිහක් පිරිනැමේ. එනිසාම බොහෝදෙනෙක් එදිනට වැඩි උනන්දුවකින් ඡායාරූප ගැනීමට පෙළඹෙයි. මෙය ගුරුවරුන්ගේ මගපෙන්වීම යටතේ සිදුවන්නකි. මෙම වැඩමුළුව පැවැත්වුනේ 2015 වසරේ මැයි  මාසයේ 17 වනදාය.

එදින මා එහි ළඟාවනවිට උදෑසන 6.15 පමණ විය. ඒ මොහොත වන විට 10ක් 15ක් පමණවත් පැමිණ සිටියේ නැත. උදෑසන 7 පමණ වන විට සැලකියයුතු පිරිසක් පැමිණියද උදෑසන 8 පමණ වන විට 250ක පමණ පිරිසකගෙන් පිරී ගොස් තිබුණි. ගුරුවරයෙකුගේ විශේෂ දේශනයකින් පසු වැඩමුළුව ආරම්භ වේ. ඊට පෙර වසරේදී මේ අවස්ථාව මට මගහැරිගියේ අත්‍යවශ්‍ය කටයුත්තක් නිසා පැමිණීමට නොහැකිවූ නිසාය. ඒ නිසාම වැඩි උනන්දුවක් මට නොතිබුණාම නොවේ. සහෝදර විද්‍යාර්ථයින් සමග අල්ලාප සල්ලාප දොඩන්නටත් විනෝදයටත් හොඳම දවසක් තමයි මේ. උදෑසන කාලයේ ඉතා උනන්දුවකින් සියලුදෙනාමපහේ කටයුතු කරත් දහවල් කාලය උදාවත්ම ඡායාරූප ගැනීම කෙසේවෙතත් එහෙ මෙහෙ ඇවිදිමින් විනෝදවෙමින් තැන තැන කල්ලි ගැසී නොයෙක්දේ කරමින් කියමින් කාලය ගතකිරීමට බොහෝ දෙනෙක් ප්‍රිය කරයි. දිවා ආහාරය ගැනීමෙන් පසුව පැමිණ සිටි අයගෙන් හරි අඩක් පමණ ආපසු යන අතර සවස 3,4 පමණ වන විට ඉතා සුළු පිරිසක් ඉතුරුවේ. සවස් කාලයේ කුඩා දරුවන් විශාල ප්‍රමාණයක් විහාරමහාදේවී උද්‍යානයට එකතුවෙයි. එය කව්රුත් දන්නා කාරණාවකි. ඒ මොහොත උදාවනවිට වැඩිදෙනෙක් බලාසිටියි. මමද කුඩා දරුවන්ගේ ඡායාරූප ගැනීමට එකල සිටම විශේෂ කැමැත්තක් දක්වන අතර පසුකාලීනව එය මා සතු සුවිශේෂී හැකියාවක් විය. එය මාගේ ඡායාරූප රසවිඳින කෙනෙකුට කාලයත් සමග වැටහේ. කෙසේනමුත් ඒවනවිටත් සැලකිය යුතු සාර්ථක පින්තූරයක් මාහට නොතිබුන බැවින් බලාපොරොත්තු තබාගෙන සිටියේය. සවස් වන විට කුඩා දරුවන් කිහිපදෙනෙකුගේ ඡායාරූප කිහිපයක් ගැනීමට මට හැකිවිය. ඉන් නොනැවතුන මා උත්සාහය ඇත හැරියේ නැත. 

උදයේ සිට දහවල් වනතුරුත් එකට රංචුගැසි ඡායාරූප ගැනීමට ඇවිද යන්නටවූ මට ගුරුවරයා උදේ කී කාරණාවක් මතකයට ආවේය. " හැමෝම කල්ලි ගැහිල පින්තූර ගන්න යන්න එපා. එතකොට හැමෝම ගන්නේ එකම දේවල්." එතකොට වෙන්නේ එකම වගේ පින්තූර ටිකක් තමයි ඔයාලට ලැබෙන්නේ." "පුළුවන් තරම් තනිවෙන්න බලන්න." "එහෙම වුනාම විශේෂ දේවල් පේන්න ගන්නවා." එය සිහිවීමත් සමගම මම අපේ රැලෙන් වෙන්වන්නට වූයේ කිසිවකුටත් නොදැනීමය. සවස 5 පමණ වන විට උද්‍යානයේ ඇති වතුර මල් ක්‍රියාත්මක වේ. ඒවයෙන් ඉහලට විදින වතුර වැස්සක් ලෙස පොළොවට අදැහැලෙයි. මේ මල් වැස්සේ තෙමෙන්නට කුඩා දරුවන් අතිශය ආශාවක් දක්වයි. මම ඔවුන්ගේ විනෝදය දෙස බලා සිටියේද ඉතා ආශාවෙන්ය. මදකට මට ඡායාරූප ගැනීමේ කටයුත්තද අමතකව ගොස් තිබුණේය. 

මා අවදිවූයේ යම් අපූරු සිදුවීමක් දුටු සැනින්ය. කහ පාට ගවුම් දෙකකින් සැරසුණු දැරියන් දෙදෙනෙක්  කොහේදෝ සිට මේ වැස්සේ තෙමෙන්නට ආවේය. මා  ඔවුන් දෙදෙනාතුල විශේෂයක් දුටු නිසාම තරමක් කිට්ටුවන්නට විය. ඔවුන් ඉතා ප්‍රීතියෙන් තෙමි තෙමී විනෝද වන්නට විය. මා තවත් කිට්ටුවන්නට විය. ඔවුන් තුල ඇති සුවිශේෂී බව හඳුනාගන්නට මට හැකිවූයේ එවිටය. ඒ සම නිවුන් දරුවන් දෙදෙනෙකි. මේ සුවිශ්ෂී අවස්තාව අත්නොහැරීමට මම අධිෂ්ඨානය කරගතිමි. මට කෙසේහෝ  ඔවුන් දෙදෙනාව එකම රූප රාමුවකට ගැනීමට උවමනාවක් තිබුන නමුත් ඔබමොබ දුවනා කුඩා දරුවන්ගෙන් ඔවුන් දෙදෙනා වෙන්කරගැනීම ඉතාමත්ම අසීරු කටුත්තක් විය. එහෙමෙහෙ දුවන මේ දැරියන් දෙදෙනා එකම රාමුවකට ගැනීම කෙසේ කලහැකිද? එය කලහැක්කේ මටම පමණකි. මා ඉවසිලිවන්තව සිටියෙමි. ඔවුන්ගේ උපරිම සතුට දනවන ඉරියව්ව එකම රාමුවකට ගැනීමට හැකිනම් එය මොනතරම් වාසනාවක්ද. වෙන කව්රුන් හෝ කොහේ හෝ සිට මාගේ කුරුමානමටම ඇහැගහගෙන ඇතිදැයි ආත්මාර්ථකාමී සැකයක්ද හිතයට වදදෙයි. වාසනාව මා හැරගොස් නොතිබුණි. 

පැයක පමණ උත්සාහය මල් ඵල ගැන්වුයේ මොහොතකිනි. කැමරාව තුලින් බලාගෙනම මේ කුඩා දැරියන් දෙදෙනාව ලුහුබඳින්නට වූ මට එකම රාමුවක, උතුරායන සතුටින්, දිවයන දසුනක් මොහොතකින් හසුකරගැනීමට හැකිවිය. එවකට  මා අත තිබුන Canon 70D වර්ගයේ කැමරාවෙන් 18-135mm වර්ගයේ Lens එක භාවිතාකරමින් ඡායාරූප ගන්නට වූ මගේ කැමරාවේ සවස 5.09 ලෙස වේලාව සටහන් වී තිබුණි. කෙසේ නමුත් මේ වැඩමුළුවේ හොඳම කලුසුදු ඡායාරූපයට හිමි ස්ථානය මට නොලැබී ගියේ මගේ පින්තුරයේ මුද්‍රණයේ තිබුන යම් දෝෂයක් නිසා බව තරඟ විනිශ්චය කල ගුරුවරයෙකු මට කීවේ පින්තූරයේ ගුණදොස් අසන්නට ගිය වේලාවේය. මට දෙවන ස්ථානය ලැබුනේ ඒ හේතුව නිසා බව ගුරුවරයා මට කීවේ මා දිරිමත් කරමින්ය. ඒ ලබාගත් ඔවදන් නිසාම මම ප්‍රථම වරට ජාත්‍යන්තර තරඟයකට මේ පින්තූරය ඉදිරිපත් කළේය. මා ඉදිරිපත් වූ පළවෙනි ජාත්‍යන්තර ඡායාරූප තරඟයේ ප්‍රදර්ශනය සඳහා මේ ඡායාරූප තේරීපත්විය. ඒ එම වසරේමය. එතැන් පටන් මා ඡායාරූප ඉදිරිපත් කල ජාත්‍යන්තර තරඟ වැඩිම ගණනක ප්‍රදර්ශනය සඳහා තේරීපත්වී ඇත්තේ මෙම ඡායාරූපයයි. එමෙන්ම සම්මාන දෙකක්ද  මේ ඡායාරූපයට ලැබීතිබේ. බොහෝදෙනා මා හඳුනාගන්නා මාගේ සලකුණ ලෙසටද මෙය මට මෙන්ම මාගේ ඡායාරූප රසවිඳින අයටද සමීප විය. 

සටහන සහ ඡායාරූපය : සුරේෂ් එස්. වීරසිංහ 


Wednesday, April 1, 2020

"හදිස්සියේ කඩාහැලුන වැස්ස"


Photographed By : © Suresh S. Weerasinghe


පෙර සුදානම වාසනාවට හේතුවූ අවස්තා කිහිපයක්ම මාගේ ඡායාරූප දිවියතුල ඇත. වෘතීයෙන් විවාහ මංගල ඡායාරූපශිල්පියෙක් වන මා හට ශ්‍රී ලංකාවේ නොයෙක් ප්‍රදේශ වල සංචාරය කිරීමට අවස්ථා ලැබී ඇත. එය සුළුවෙන් තැකිය හැකි වාසනාවක් නම් නොවේ. රැකියාවත් සමගම නොමිලේ ලැබෙන අමතර දීමනාවක් ලෙස මට සිතෙයි. ඒ අමතර වාසිය නිසාම එවැනි ගමන් වලදී මාගේ ඡායාරූප එකතුවට ලැබුණු අමිල අවස්ථා ගැන මතක් කල යුතුමය. මේ එවැනි අවස්ථාවකි. තවද මාගේ ඡායාරූපවල ශ්‍රී ලාංකික අනන්‍යතාවය රඳවා තබාගැනීමට හැකි සෑම අවස්ථාවකම උත්සහයක් ගැනීමටද මම අමතක නොකරමි. එය කොතරම් දුරට සත්‍යයක්ද බව මාගේ ඡායාරූප රසවිඳින කෙනෙකුට වැටහේ. 

2017 වර්ෂයේ ජනවාරි මස 23 වන දිනට වෙන්වී තිබුනු විවාහ මංගල්‍ය උත්සවයක ඡායාරූප ගැනීමට තිබුනේ මා හට ඉතාම සුවිශේෂී වූ පලාතකය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කලංකුට්ටිය සුන්දර ගම්මානය මගේ උපන්බිමයි. එම ප්‍රදේශයේ මංගල උත්සවයක ඡායාරූප ගැනීමට මට අවස්තාවක් ලැබෙන්නේ පළමුවරටයි. එම කාරනා නිසාම මට එය සුවිශේෂී වේ. කෙසේ නමුත් අදාල දිනයට දින දෙකකට කලින් එහි යාමට මම තීරණය කලේ මාගේ දිනපොත ඒ දවස් කීපයට වෙන්වූ කාරන නොතිබූ නිසාවෙනි. 21 වන දින ගමට පැමින විවේකීව ගත කලේය. මංගල උත්සවයට අදාලව ඡායාරූප ගැනීමට යොදාගෙන තිබුනේ කලාවැව ආසන්නයේය. පෙර කිසිදිනකත් එම ප්‍රදේශයේ මංගල උත්සවයක ඡායාරූප ගැනීම පිලිබඳ කිසිදු අත්දැකීමක් නොතිබූ මට කලින්ම එම ස්ථානයට ගොස් අවට වටපිටාව දැක ගැනීමට දැඩි උවමනාවක් තිබෙන්නට විය. එය මගේ රාජකාරිය සාර්ථකව ඉටුකිරීමට ඉමහත් පිටුවහලක් වන බව මා දැන සිටි බැවිනි. පෙර සූදානම කෝකටත් හොඳය. එය මාගේ වෘත්තීය අත්දැකීමයි. මංගල උත්සවය පෙර දිනයේ දහවල් කාලයේ කලාවැවට යාමට පිටත්වූයේ සුපුරුදු පරිදි මෝටර් රථයේ ඉදිරිපස අසුනේ මාද, රියදුරු අසුන මාගේ බිරිඳට බාරකරමින්‍. මට වඩා අවුරුදු 10ක 12ක පමණ පලපුරුද්දක් ඇයට ඇත්තේ රථවාහන ධාවනය සම්බධයෙන් පමනි. ඡායාරූපකරණය සම්බන්ධයෙන් නම් මම ඇයට වඩා ඉදිරියෙන්. වටපිට සිරිනැරඹීමේ කාර්‍යය වඩාත් පහසු මෙන්ම ඵලදායීවන්නේත් මට ඒ වාසිය නිසාය. කැමරාව සහ කාච ( Lens ) කිහිපයක්  අතැතිව මෝටර් රථයේ ඉදිරි අසුනේ ඉඳගත් පසු ගමන ආරම්භ විය. 

රැජින මාවත ඔස්සේ කලාවැව බලා පිටත් විය. බුල්නෑව,ගල්නෑව, අව්කන පසුකර කලාවැවට යාමට ඇති මාර්ගයයි. දෙවන එලිසබෙත් රැජින වික්ටෝරියා වේල්ල විවෘත කිරීමට ශ්‍රී ලංකාවට පැමිනි අවස්තාවකදී මේ මාර්ගය ව්වෘත කිරීමට පැමිනි බව මාගේ මව විසින් කලකට ඉහතදී කියා තිබුනි. එබැවින් එයට රැජින මාවත යැයි කියනු ලැබේ. පාර දෙපස වැවී තිබුනු රූස්ස ගස් නිසාම හරියට බිම් ගෙයක් ඇතුලෙන් යනවාමෙන් දැනෙන්නට විය. මට මතක ඇති කාලයේ පටන්ම එසේය. කොතරම් වියලි කාලගුණයක් පැවතියත් ඒ ගස්වලින් ලැබෙන සෙවන සහ සිසිලස නිසාම විඩාවක් නොවන්නේය. මග දෙපස පොඩියට සාදාගත් තාවකාලික වෙළදසැල් තැනින් තැනය. ඒ තැනක නැවතී තමබපු බඩඉරිඟු කරල් කීපයක රස බලා නොගියොත් ඒ ගමනේ සුන්දරත්වය නැතිතරම්‍. එය විඳගැනීමටද අපි අමතක නොකලෙමු. මේ ගමන අතරතුර හිත නැවතුන සමහර තැන්වල මෝටර් රථය නවතා ඡායාරූප කීපයක් ගැනීමට මම අමතක නොකලේය. කලාවැව සිට කැකිරාවට දිවෙන ප්‍රධාන මාර්ගය වැටී ඇත්තේ කලාවැවේ වැව් බැම්ම දිගේය. එය කිලෝමීටර් කිහිපයක් දිගට දිවේ. වැව් බැම්මට ලඟා වන අවස්තාවේ මන්දාරම් ගතියක් දකින්නට විය. කොහෙත්ම වැස්සක සලකුනු නම් දක්නට තිබුනේ නැත. ඒ වන විට වේලාව දහවල් 2 පසුවී තිබුනි. යෝධ ඇලෙන් ගලා බසින්නේ කලාවැවෙන් ලැබෙන මහා වතුර කන්දරාවත් අරගෙනය. යෝධඇලේ බැස්ම සැතපුමට අඟලක් බව ඉතිහාසයේ සඳහන්වේ. ඇලට වතුර ලැබෙන සොරොව්ව පසුකර වැඩි දුරක් යන්නට ලැබුනේ නැත. මෝටර් රථයේ සිටම ඈත බලාගෙන ආ මට පෙනෙන්නට වූයේ බලාපොරොත්තු නොවූ දර්ශනයකි. අපට ඉදිරියෙන් මහා වැස්සක් කඩා හැලෙයි. එය ඈත සිටම පෙනෙන්නට විය. ඒ දෙසට අප දැන් ඉතා ඉක්මනින් ලංවන බව පෙනෙයි. යමක් මතකයට ආවර්ජනය වන්නට විය. " වැස්ස කියන්නෙ පින්තූර ගන්න කියාපු සාධකයක්. " " අපේ අය වහිනකොට කැමරා හංගගෙන බෑග් වල දාගෙන ඉන්නව කැමරා තෙමෙයි කියල." වැස්සෙනෙ පින්තූර තියෙන්නෙ. " වැස්ස වෙලාවක ඇති තරම් හොඳ ඡායාරූප ගන්න පුලුවන්." කැමරාවත් ප්‍රවේසම් කරගෙන මේ වැඩේ කරන්න පුලුවන්"  මා ඡායාරූපකරණය හදාරන කාලයේ ගුරුවරයෙකුගෙන් ලද අත්දැකීමකි.

මා අත Canon 70D මාදිලියේ කැමරාවකි. ඒ මොහොතේ එයට සවිකර තිබුනේ 70-200mm වර්ගයේ කාචයකි (Lens). මට පෙනෙන්නට වූයේ හදිසියේ කඩාහැලුනු වැස්සෙන් බේරීමට කුඩ ඉහලාගෙන පාරේ වම්පැත්තේ සිටින කාන්තාවන් පිරිසකි. කාන්තාවන්ට කුඩයක් අතේ ගෙනයාමට අව්ව වැස්ස අදාල නැත. කුඩයක් ළඟ නැති කතක වේනම් ඒ මාගේ බිරිඳ පමණකි. ඇය කුඩ ගෙනයන කෙනෙක් නොවේ. තද සුළගකුත් සමගම ආ වැස්සෙන් බේරීමට යන්නට තැනක්වත්, වෙලාවක් වත් කිසිම කෙනෙකුට ඒ මොහොතේ නැත. මෝටර් රථයේ වීදුරුව තුලින්ම මම කැමරාව මානන්නට වූයේ රථයේ වේගය අඩුකරන ලෙස බිරිඳට දන්වමිනි. ඇය ඉතා ඉක්මනින් වේගය අඩාල කරන්නට විය. මම ඇයට නැවතවරක් කීවේ "දැන් නතරකරන්න" කියාය. කැමරාවේ සියලුම අංග උපාංග ක්ෂනයකින් සකසාගත් මා මෝටර් රථයේ සිටම පින්තූර කිහිපයක් ගන්නට විය. මොහොතකින් ඉදිරිය නොපෙනී යන තරමටම වැස්ස තදවිය. මට ලැබුනු කාලය තත්පර කිහිපයකි. වේලාව දහවල් 2.37 ලෙස පින්තූරයේ සටහන් වී තිබුනි. මේ ඡායාරූපය හොඳින් බලන කෙනෙකුට මෙහි දකුනු කෙලවරේ මනුස්සයන් දෙදෙනෙකුගේ චායාවන් දෙකක් පෙනේ. ඒ ඉදිරියට දිව එන මිනිසුන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා අත බිලීපිති දෙකක් වේ. ඒ දෙදෙනාවද වෙනම ඡායාරූපයකට ගැනීමට මට හැකිවිය. ඒ තරමක් ඉදිරියට ගිය පසුය. ඒ ඡායාරූපයද මා සතුව ඇත. 


සටහන සහ ඡායාරූපය : සුරේෂ් එස්. වීරසිංහ