Saturday, June 13, 2020

"වාරුව"


Photographed By : Suresh S. Weerasinghe

මගේම කියල කැමරාවක් ගන්නෙ 2011 අවුරුද්දේ. කැමරාව ගන්නකොට ඡායාරූපකරණය කියන කලා මාධ්‍යයේ දිග පළල මොකක්ද කියලවත් මම දන්නෙ නෑ. මේ පින්තූරෙ ගන්නකොටත් කැමරාවෙන් ආලෝකය පාලනය කරන ක්‍රම ගැන හරි හැටි අවබෝධයක් මට නෑ. හැබයි කොහේ හෝ හැංගුන අමුතු නහරයක් මට තිබ්බ කියන එක කිව්වෙත් මට උගන්නනපු ගුරුවරයෙක්. හැබයි ඒ මම ඡායාරූපකරණය ගැන අධ්‍යාපනය හදාරන්නට ගිය මුල් අවදියේ. එතකොට මේ පින්තූරය අරගෙනත් අවුරුදු 3කට වැඩියි. හැබයි දැන් මේ පින්තූරය දිහා බලන මටත් තේරෙනව අර හැංගුනා කියපු අමුතු නහරෙ ඒකාලෙත් තිබිල කියල. ඒකට හේතුව මේ පින්තූරය මම රාමුගතකර තිබෙන ආකාරයත්, පින්තූරය ග්‍රහනය කරෙගෙන තිබෙන මොහොත සහ දර්ශණ කෝණය. එහි සාර්ථකවයක් මම දකිනව.

2011 අප්‍රියෙල් මාසෙ නිවාඩුවට මගේ ගමේ ගියපු වෙලාවක මම ගත්ත පින්තූරයක්. ඒ කලංකුට්ටියේ. මේ ගම තියෙන්නෙ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ.
කලාවැවෙන් පටන් අරගෙන සැතපුමට අඟලක බැස්මකින් ගලාගෙන යන කලා ඔය ගලනේත් මගේ ගමේ උතුරු කෙලවරින්. කලා ඔයට ගිය වෙලාවක මට මේ අවස්තාව හමුවන්නේ අහඹු ලෙසටයි. ඔයෙන් අවදානම් සහිතව එගොඩ වන්නට තිබෙන මේ ඒ දණ්ඩ මෙහි පේනවාට වඩා තුන් ගුනයක් පමණ දිගින් යුක්තයි. ඔයට නැමුනු විශාල කුඹුක් ගසක අත්තකට කෙලවරින් හේත්තු කරගත් ලී කොටයකින් කවුරුන් හෝ විසින් මෙය නිර්මාණය කරන්නට ඇති. මෙයින් ගමන් කිරීම ඉතා අවධානම් ගමනක් බව මේ අම්මත් පුතාත් (සමහරවිට අත්තම්මා සහ මුනුපුරා වෙන්නත් පුලුවන්) දෙස බලා සිටි මට ඒ හැඟීම එදා දැනෙන්නට විය. නමුත් ඒ අවදියේ ඡායාරූපයකින් නැතහොත් කලා කෘතියකින් හැඟීමක් එලිදක්වන ආකාරය ගැන මට අවබෝධයක් නොතිබුනි. නමුත් අද මේ ඡායාරූපය දෙස බලන මට සාර්ථක දේවල් කිහිපයක් පෙනෙන්නට ගන්නවා. මේ පහලට බසින මොහොතේ අවදානමේ උපරිම අවස්තාව මට පෙනෙන්නට වනවා. පුලුල් කෝණයකින් මේ අවස්තාව හසුකරගත්තා නම් ඒ දණ්ඩේ දිග ප්‍රමාණය ගැන පින්තූරය රසවිඳින කෙනෙකුට පැහැදිලි අවබෝධයක් දීමට මට පුලුවන් කමක් තිබුනි. නමුත් එසේ වූවානම් මෙහි ප්‍රධාන අරමුණුන වන අම්මා සහ පුතා මීට වඩා කුඩා වට පෙනෙන්නට වනවා. එසේ වූවා නම් වැඩි ඉඩ ප්‍රමාණයක් මෙහි පසුබිමට වැය වනවා. එහෙයින් මේ දෙදෙනා මේ ලෙසට ඉස්මතුවී නොවෙන්නට තිබුනා. දැන් මේ රාමුව දෙස බැලීමෙන් පින්තූරය තුලින් මෙහි ඇති අවධානමත්, අම්මා සහ පුතා අතර ඇති බැඳීම මොන ආකාරයකදැයි පැහැදිලි කතාවක් මටම නිර්මාණය කරගන්නට පුලුවන්.
එදා Nikon D90 කැමරාවෙන් මෙම ඡායාරූපය ගන්නාවිට අලුත ගත්ත කැමරාවට සති 3ක් විතර ඇති.
2011 වර්ෂයේ අප්‍රියෙල් මස 11 වන දින දහවල් 1.44 ලෙස මෙහි සටහන්ව තිබෙනවා.

සටහන සහ ඡායාරූපය : සුරේෂ් එස්. වීරසිංහ
2020.06.13



Sunday, April 5, 2020

"උතුරා යන සතුට"


Photographed By : Suresh S. Weerasinghe

ඡායාරූප ශිල්පියෙක් ලෙස බහතෝරන කාලයේම මා හට වාසනාව ගෙනා ඡායාරූපය මෙයයි කියන්නට හැර අන් කිසිවකුත් නොව. එකල මම ජාතික ඡායාරූප කලා සංගමයේ ඩිප්ලෝමාව හදාරන කාලයේ දෙවන වසරේ සිසුවකු ලෙස අධ්‍යාපනය ලබන අවදියකි. අපට වාර්ෂිකව පැවැත්වෙන වැඩමුළු කිහිපයකි. ඉන් අනිවාර්ය එකක් විහාරමහදේවී උද්‍යානයේ සිදුකෙරේ. සාමාන්‍යයෙන් සිදුකෙරෙන පිළිවෙතක් තිබේ. උදෑසන සිට සවස් වනතුරු විද්‍යාර්ථයින් හට රිසිසේ ඡායාරූප ගැනීමට අවස්ථාව සලසාදෙයි.කිසිවකුටත් බාධාවක් නොවන පරිදි එම කටයුත්ත කරගැනීමට උපදෙස් අපහට ලැබේ. විශේෂ අවසරයක් හට අප සංගමයේ විද්‍යාර්ථයින්ට එම අවස්ථාව ලැබේ. එය අප සංගමය හරහා පමණක් සිදුවන්නකි. මෙමෙ වැඩමුළුවේ විශේෂත්වය වන්නේ එහිදී ලබාගන්නා හොඳම කලුසුදු ඡායාරූපයට විශේෂ ශූරතා පලිහක් පිරිනැමේ. එනිසාම බොහෝදෙනෙක් එදිනට වැඩි උනන්දුවකින් ඡායාරූප ගැනීමට පෙළඹෙයි. මෙය ගුරුවරුන්ගේ මගපෙන්වීම යටතේ සිදුවන්නකි. මෙම වැඩමුළුව පැවැත්වුනේ 2015 වසරේ මැයි  මාසයේ 17 වනදාය.

එදින මා එහි ළඟාවනවිට උදෑසන 6.15 පමණ විය. ඒ මොහොත වන විට 10ක් 15ක් පමණවත් පැමිණ සිටියේ නැත. උදෑසන 7 පමණ වන විට සැලකියයුතු පිරිසක් පැමිණියද උදෑසන 8 පමණ වන විට 250ක පමණ පිරිසකගෙන් පිරී ගොස් තිබුණි. ගුරුවරයෙකුගේ විශේෂ දේශනයකින් පසු වැඩමුළුව ආරම්භ වේ. ඊට පෙර වසරේදී මේ අවස්ථාව මට මගහැරිගියේ අත්‍යවශ්‍ය කටයුත්තක් නිසා පැමිණීමට නොහැකිවූ නිසාය. ඒ නිසාම වැඩි උනන්දුවක් මට නොතිබුණාම නොවේ. සහෝදර විද්‍යාර්ථයින් සමග අල්ලාප සල්ලාප දොඩන්නටත් විනෝදයටත් හොඳම දවසක් තමයි මේ. උදෑසන කාලයේ ඉතා උනන්දුවකින් සියලුදෙනාමපහේ කටයුතු කරත් දහවල් කාලය උදාවත්ම ඡායාරූප ගැනීම කෙසේවෙතත් එහෙ මෙහෙ ඇවිදිමින් විනෝදවෙමින් තැන තැන කල්ලි ගැසී නොයෙක්දේ කරමින් කියමින් කාලය ගතකිරීමට බොහෝ දෙනෙක් ප්‍රිය කරයි. දිවා ආහාරය ගැනීමෙන් පසුව පැමිණ සිටි අයගෙන් හරි අඩක් පමණ ආපසු යන අතර සවස 3,4 පමණ වන විට ඉතා සුළු පිරිසක් ඉතුරුවේ. සවස් කාලයේ කුඩා දරුවන් විශාල ප්‍රමාණයක් විහාරමහාදේවී උද්‍යානයට එකතුවෙයි. එය කව්රුත් දන්නා කාරණාවකි. ඒ මොහොත උදාවනවිට වැඩිදෙනෙක් බලාසිටියි. මමද කුඩා දරුවන්ගේ ඡායාරූප ගැනීමට එකල සිටම විශේෂ කැමැත්තක් දක්වන අතර පසුකාලීනව එය මා සතු සුවිශේෂී හැකියාවක් විය. එය මාගේ ඡායාරූප රසවිඳින කෙනෙකුට කාලයත් සමග වැටහේ. කෙසේනමුත් ඒවනවිටත් සැලකිය යුතු සාර්ථක පින්තූරයක් මාහට නොතිබුන බැවින් බලාපොරොත්තු තබාගෙන සිටියේය. සවස් වන විට කුඩා දරුවන් කිහිපදෙනෙකුගේ ඡායාරූප කිහිපයක් ගැනීමට මට හැකිවිය. ඉන් නොනැවතුන මා උත්සාහය ඇත හැරියේ නැත. 

උදයේ සිට දහවල් වනතුරුත් එකට රංචුගැසි ඡායාරූප ගැනීමට ඇවිද යන්නටවූ මට ගුරුවරයා උදේ කී කාරණාවක් මතකයට ආවේය. " හැමෝම කල්ලි ගැහිල පින්තූර ගන්න යන්න එපා. එතකොට හැමෝම ගන්නේ එකම දේවල්." එතකොට වෙන්නේ එකම වගේ පින්තූර ටිකක් තමයි ඔයාලට ලැබෙන්නේ." "පුළුවන් තරම් තනිවෙන්න බලන්න." "එහෙම වුනාම විශේෂ දේවල් පේන්න ගන්නවා." එය සිහිවීමත් සමගම මම අපේ රැලෙන් වෙන්වන්නට වූයේ කිසිවකුටත් නොදැනීමය. සවස 5 පමණ වන විට උද්‍යානයේ ඇති වතුර මල් ක්‍රියාත්මක වේ. ඒවයෙන් ඉහලට විදින වතුර වැස්සක් ලෙස පොළොවට අදැහැලෙයි. මේ මල් වැස්සේ තෙමෙන්නට කුඩා දරුවන් අතිශය ආශාවක් දක්වයි. මම ඔවුන්ගේ විනෝදය දෙස බලා සිටියේද ඉතා ආශාවෙන්ය. මදකට මට ඡායාරූප ගැනීමේ කටයුත්තද අමතකව ගොස් තිබුණේය. 

මා අවදිවූයේ යම් අපූරු සිදුවීමක් දුටු සැනින්ය. කහ පාට ගවුම් දෙකකින් සැරසුණු දැරියන් දෙදෙනෙක්  කොහේදෝ සිට මේ වැස්සේ තෙමෙන්නට ආවේය. මා  ඔවුන් දෙදෙනාතුල විශේෂයක් දුටු නිසාම තරමක් කිට්ටුවන්නට විය. ඔවුන් ඉතා ප්‍රීතියෙන් තෙමි තෙමී විනෝද වන්නට විය. මා තවත් කිට්ටුවන්නට විය. ඔවුන් තුල ඇති සුවිශේෂී බව හඳුනාගන්නට මට හැකිවූයේ එවිටය. ඒ සම නිවුන් දරුවන් දෙදෙනෙකි. මේ සුවිශ්ෂී අවස්තාව අත්නොහැරීමට මම අධිෂ්ඨානය කරගතිමි. මට කෙසේහෝ  ඔවුන් දෙදෙනාව එකම රූප රාමුවකට ගැනීමට උවමනාවක් තිබුන නමුත් ඔබමොබ දුවනා කුඩා දරුවන්ගෙන් ඔවුන් දෙදෙනා වෙන්කරගැනීම ඉතාමත්ම අසීරු කටුත්තක් විය. එහෙමෙහෙ දුවන මේ දැරියන් දෙදෙනා එකම රාමුවකට ගැනීම කෙසේ කලහැකිද? එය කලහැක්කේ මටම පමණකි. මා ඉවසිලිවන්තව සිටියෙමි. ඔවුන්ගේ උපරිම සතුට දනවන ඉරියව්ව එකම රාමුවකට ගැනීමට හැකිනම් එය මොනතරම් වාසනාවක්ද. වෙන කව්රුන් හෝ කොහේ හෝ සිට මාගේ කුරුමානමටම ඇහැගහගෙන ඇතිදැයි ආත්මාර්ථකාමී සැකයක්ද හිතයට වදදෙයි. වාසනාව මා හැරගොස් නොතිබුණි. 

පැයක පමණ උත්සාහය මල් ඵල ගැන්වුයේ මොහොතකිනි. කැමරාව තුලින් බලාගෙනම මේ කුඩා දැරියන් දෙදෙනාව ලුහුබඳින්නට වූ මට එකම රාමුවක, උතුරායන සතුටින්, දිවයන දසුනක් මොහොතකින් හසුකරගැනීමට හැකිවිය. එවකට  මා අත තිබුන Canon 70D වර්ගයේ කැමරාවෙන් 18-135mm වර්ගයේ Lens එක භාවිතාකරමින් ඡායාරූප ගන්නට වූ මගේ කැමරාවේ සවස 5.09 ලෙස වේලාව සටහන් වී තිබුණි. කෙසේ නමුත් මේ වැඩමුළුවේ හොඳම කලුසුදු ඡායාරූපයට හිමි ස්ථානය මට නොලැබී ගියේ මගේ පින්තුරයේ මුද්‍රණයේ තිබුන යම් දෝෂයක් නිසා බව තරඟ විනිශ්චය කල ගුරුවරයෙකු මට කීවේ පින්තූරයේ ගුණදොස් අසන්නට ගිය වේලාවේය. මට දෙවන ස්ථානය ලැබුනේ ඒ හේතුව නිසා බව ගුරුවරයා මට කීවේ මා දිරිමත් කරමින්ය. ඒ ලබාගත් ඔවදන් නිසාම මම ප්‍රථම වරට ජාත්‍යන්තර තරඟයකට මේ පින්තූරය ඉදිරිපත් කළේය. මා ඉදිරිපත් වූ පළවෙනි ජාත්‍යන්තර ඡායාරූප තරඟයේ ප්‍රදර්ශනය සඳහා මේ ඡායාරූප තේරීපත්විය. ඒ එම වසරේමය. එතැන් පටන් මා ඡායාරූප ඉදිරිපත් කල ජාත්‍යන්තර තරඟ වැඩිම ගණනක ප්‍රදර්ශනය සඳහා තේරීපත්වී ඇත්තේ මෙම ඡායාරූපයයි. එමෙන්ම සම්මාන දෙකක්ද  මේ ඡායාරූපයට ලැබීතිබේ. බොහෝදෙනා මා හඳුනාගන්නා මාගේ සලකුණ ලෙසටද මෙය මට මෙන්ම මාගේ ඡායාරූප රසවිඳින අයටද සමීප විය. 

සටහන සහ ඡායාරූපය : සුරේෂ් එස්. වීරසිංහ 


Wednesday, April 1, 2020

"හදිස්සියේ කඩාහැලුන වැස්ස"


Photographed By : © Suresh S. Weerasinghe


පෙර සුදානම වාසනාවට හේතුවූ අවස්තා කිහිපයක්ම මාගේ ඡායාරූප දිවියතුල ඇත. වෘතීයෙන් විවාහ මංගල ඡායාරූපශිල්පියෙක් වන මා හට ශ්‍රී ලංකාවේ නොයෙක් ප්‍රදේශ වල සංචාරය කිරීමට අවස්ථා ලැබී ඇත. එය සුළුවෙන් තැකිය හැකි වාසනාවක් නම් නොවේ. රැකියාවත් සමගම නොමිලේ ලැබෙන අමතර දීමනාවක් ලෙස මට සිතෙයි. ඒ අමතර වාසිය නිසාම එවැනි ගමන් වලදී මාගේ ඡායාරූප එකතුවට ලැබුණු අමිල අවස්ථා ගැන මතක් කල යුතුමය. මේ එවැනි අවස්ථාවකි. තවද මාගේ ඡායාරූපවල ශ්‍රී ලාංකික අනන්‍යතාවය රඳවා තබාගැනීමට හැකි සෑම අවස්ථාවකම උත්සහයක් ගැනීමටද මම අමතක නොකරමි. එය කොතරම් දුරට සත්‍යයක්ද බව මාගේ ඡායාරූප රසවිඳින කෙනෙකුට වැටහේ. 

2017 වර්ෂයේ ජනවාරි මස 23 වන දිනට වෙන්වී තිබුනු විවාහ මංගල්‍ය උත්සවයක ඡායාරූප ගැනීමට තිබුනේ මා හට ඉතාම සුවිශේෂී වූ පලාතකය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කලංකුට්ටිය සුන්දර ගම්මානය මගේ උපන්බිමයි. එම ප්‍රදේශයේ මංගල උත්සවයක ඡායාරූප ගැනීමට මට අවස්තාවක් ලැබෙන්නේ පළමුවරටයි. එම කාරනා නිසාම මට එය සුවිශේෂී වේ. කෙසේ නමුත් අදාල දිනයට දින දෙකකට කලින් එහි යාමට මම තීරණය කලේ මාගේ දිනපොත ඒ දවස් කීපයට වෙන්වූ කාරන නොතිබූ නිසාවෙනි. 21 වන දින ගමට පැමින විවේකීව ගත කලේය. මංගල උත්සවයට අදාලව ඡායාරූප ගැනීමට යොදාගෙන තිබුනේ කලාවැව ආසන්නයේය. පෙර කිසිදිනකත් එම ප්‍රදේශයේ මංගල උත්සවයක ඡායාරූප ගැනීම පිලිබඳ කිසිදු අත්දැකීමක් නොතිබූ මට කලින්ම එම ස්ථානයට ගොස් අවට වටපිටාව දැක ගැනීමට දැඩි උවමනාවක් තිබෙන්නට විය. එය මගේ රාජකාරිය සාර්ථකව ඉටුකිරීමට ඉමහත් පිටුවහලක් වන බව මා දැන සිටි බැවිනි. පෙර සූදානම කෝකටත් හොඳය. එය මාගේ වෘත්තීය අත්දැකීමයි. මංගල උත්සවය පෙර දිනයේ දහවල් කාලයේ කලාවැවට යාමට පිටත්වූයේ සුපුරුදු පරිදි මෝටර් රථයේ ඉදිරිපස අසුනේ මාද, රියදුරු අසුන මාගේ බිරිඳට බාරකරමින්‍. මට වඩා අවුරුදු 10ක 12ක පමණ පලපුරුද්දක් ඇයට ඇත්තේ රථවාහන ධාවනය සම්බධයෙන් පමනි. ඡායාරූපකරණය සම්බන්ධයෙන් නම් මම ඇයට වඩා ඉදිරියෙන්. වටපිට සිරිනැරඹීමේ කාර්‍යය වඩාත් පහසු මෙන්ම ඵලදායීවන්නේත් මට ඒ වාසිය නිසාය. කැමරාව සහ කාච ( Lens ) කිහිපයක්  අතැතිව මෝටර් රථයේ ඉදිරි අසුනේ ඉඳගත් පසු ගමන ආරම්භ විය. 

රැජින මාවත ඔස්සේ කලාවැව බලා පිටත් විය. බුල්නෑව,ගල්නෑව, අව්කන පසුකර කලාවැවට යාමට ඇති මාර්ගයයි. දෙවන එලිසබෙත් රැජින වික්ටෝරියා වේල්ල විවෘත කිරීමට ශ්‍රී ලංකාවට පැමිනි අවස්තාවකදී මේ මාර්ගය ව්වෘත කිරීමට පැමිනි බව මාගේ මව විසින් කලකට ඉහතදී කියා තිබුනි. එබැවින් එයට රැජින මාවත යැයි කියනු ලැබේ. පාර දෙපස වැවී තිබුනු රූස්ස ගස් නිසාම හරියට බිම් ගෙයක් ඇතුලෙන් යනවාමෙන් දැනෙන්නට විය. මට මතක ඇති කාලයේ පටන්ම එසේය. කොතරම් වියලි කාලගුණයක් පැවතියත් ඒ ගස්වලින් ලැබෙන සෙවන සහ සිසිලස නිසාම විඩාවක් නොවන්නේය. මග දෙපස පොඩියට සාදාගත් තාවකාලික වෙළදසැල් තැනින් තැනය. ඒ තැනක නැවතී තමබපු බඩඉරිඟු කරල් කීපයක රස බලා නොගියොත් ඒ ගමනේ සුන්දරත්වය නැතිතරම්‍. එය විඳගැනීමටද අපි අමතක නොකලෙමු. මේ ගමන අතරතුර හිත නැවතුන සමහර තැන්වල මෝටර් රථය නවතා ඡායාරූප කීපයක් ගැනීමට මම අමතක නොකලේය. කලාවැව සිට කැකිරාවට දිවෙන ප්‍රධාන මාර්ගය වැටී ඇත්තේ කලාවැවේ වැව් බැම්ම දිගේය. එය කිලෝමීටර් කිහිපයක් දිගට දිවේ. වැව් බැම්මට ලඟා වන අවස්තාවේ මන්දාරම් ගතියක් දකින්නට විය. කොහෙත්ම වැස්සක සලකුනු නම් දක්නට තිබුනේ නැත. ඒ වන විට වේලාව දහවල් 2 පසුවී තිබුනි. යෝධ ඇලෙන් ගලා බසින්නේ කලාවැවෙන් ලැබෙන මහා වතුර කන්දරාවත් අරගෙනය. යෝධඇලේ බැස්ම සැතපුමට අඟලක් බව ඉතිහාසයේ සඳහන්වේ. ඇලට වතුර ලැබෙන සොරොව්ව පසුකර වැඩි දුරක් යන්නට ලැබුනේ නැත. මෝටර් රථයේ සිටම ඈත බලාගෙන ආ මට පෙනෙන්නට වූයේ බලාපොරොත්තු නොවූ දර්ශනයකි. අපට ඉදිරියෙන් මහා වැස්සක් කඩා හැලෙයි. එය ඈත සිටම පෙනෙන්නට විය. ඒ දෙසට අප දැන් ඉතා ඉක්මනින් ලංවන බව පෙනෙයි. යමක් මතකයට ආවර්ජනය වන්නට විය. " වැස්ස කියන්නෙ පින්තූර ගන්න කියාපු සාධකයක්. " " අපේ අය වහිනකොට කැමරා හංගගෙන බෑග් වල දාගෙන ඉන්නව කැමරා තෙමෙයි කියල." වැස්සෙනෙ පින්තූර තියෙන්නෙ. " වැස්ස වෙලාවක ඇති තරම් හොඳ ඡායාරූප ගන්න පුලුවන්." කැමරාවත් ප්‍රවේසම් කරගෙන මේ වැඩේ කරන්න පුලුවන්"  මා ඡායාරූපකරණය හදාරන කාලයේ ගුරුවරයෙකුගෙන් ලද අත්දැකීමකි.

මා අත Canon 70D මාදිලියේ කැමරාවකි. ඒ මොහොතේ එයට සවිකර තිබුනේ 70-200mm වර්ගයේ කාචයකි (Lens). මට පෙනෙන්නට වූයේ හදිසියේ කඩාහැලුනු වැස්සෙන් බේරීමට කුඩ ඉහලාගෙන පාරේ වම්පැත්තේ සිටින කාන්තාවන් පිරිසකි. කාන්තාවන්ට කුඩයක් අතේ ගෙනයාමට අව්ව වැස්ස අදාල නැත. කුඩයක් ළඟ නැති කතක වේනම් ඒ මාගේ බිරිඳ පමණකි. ඇය කුඩ ගෙනයන කෙනෙක් නොවේ. තද සුළගකුත් සමගම ආ වැස්සෙන් බේරීමට යන්නට තැනක්වත්, වෙලාවක් වත් කිසිම කෙනෙකුට ඒ මොහොතේ නැත. මෝටර් රථයේ වීදුරුව තුලින්ම මම කැමරාව මානන්නට වූයේ රථයේ වේගය අඩුකරන ලෙස බිරිඳට දන්වමිනි. ඇය ඉතා ඉක්මනින් වේගය අඩාල කරන්නට විය. මම ඇයට නැවතවරක් කීවේ "දැන් නතරකරන්න" කියාය. කැමරාවේ සියලුම අංග උපාංග ක්ෂනයකින් සකසාගත් මා මෝටර් රථයේ සිටම පින්තූර කිහිපයක් ගන්නට විය. මොහොතකින් ඉදිරිය නොපෙනී යන තරමටම වැස්ස තදවිය. මට ලැබුනු කාලය තත්පර කිහිපයකි. වේලාව දහවල් 2.37 ලෙස පින්තූරයේ සටහන් වී තිබුනි. මේ ඡායාරූපය හොඳින් බලන කෙනෙකුට මෙහි දකුනු කෙලවරේ මනුස්සයන් දෙදෙනෙකුගේ චායාවන් දෙකක් පෙනේ. ඒ ඉදිරියට දිව එන මිනිසුන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා අත බිලීපිති දෙකක් වේ. ඒ දෙදෙනාවද වෙනම ඡායාරූපයකට ගැනීමට මට හැකිවිය. ඒ තරමක් ඉදිරියට ගිය පසුය. ඒ ඡායාරූපයද මා සතුව ඇත. 


සටහන සහ ඡායාරූපය : සුරේෂ් එස්. වීරසිංහ 


Sunday, March 29, 2020

" උදෑසන අපූර්වත්වය "


Photographed By : © Suresh S. Weerasinghe

මම වෘත්තීය වශයෙන් විවාහ මංගල ඡායාරූපකරණය සිදුකරන අයෙක් වෙමි. උදේ පාන්දරින් රාජකාරි ඇරඹීම එම වෘත්තීය තුල ඇති අනිවාර්ය කාර්‍යයක් වේ. සමහර අවස්ථාවලදී කැමරාව සූදානම් කරගෙනම ගෙදරින් වාහනයට ගොඩවන දවස් නැතුවාම නොවෙයි. ඒ අදාල රාජකාරී කටයුත්තට නම් නොවේ. යන එන මග විශේෂ දෙයක් හමුවේ යැයි බලාපොරොත්තුව හිතේ තබාගෙන යන නිසාවෙනි. ඡායාරූප කලාව පිළිබඳ විෂය මා හදාරන්නේ ගුරුවරු එක්කෙනෙක් දෙන්නෙකුගෙන් නොවේ. ගුරුවරුන් 20 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් යටතේ එකිනෙකට වෙනස්වූ විෂය කරුනු කිහිපයක් ගැන අධ්‍යාපනය කටයුතු ඡායාරූප ක්ශේත්‍රය තුල හදාරා තිබේ. එකින් එකට වෙනස් වූ මේ ගුරුවරුන් සමග කතාබස් කිරීම තුලින් ලබාගන්නා ඔවුන්ගේ අත්දැකීම් දැනුම් සම්භාරයකි. දිනක් එක් ගුරුවරයෙක් කියූ කාරනාවක් මා තරයේ හිතේ තබාගත්තාය. එනම් " සති ගානක් වැස්සක් නැතුව පායල තිබිල රෑ ඉඳන් එලිවෙනකන් දවසක් වැස්සම උදේට හොඳට ඉර පායනව නම් අන්න මරු". "කොච්චර වියලි පලාතක උනත් තද මීදුමක් ඇතිවෙනව. පින්තූර ගන්න කියාපු දවසක් ඒක." ඒ කාරනව මට මොනතරම් වැදගත් වුනාද කිවහොත් එවැනි දවසක් උදාඋනොත් තනිවම මම උදේ පාන්දරම පින්තූර ගන්නට ගිය අවස්තා කිහිපයක්ම තිබේ. එදා දවසත් ගුරුවරයා කියූ ලෙසම කාලයක් තිස්සේ වැස්සක් නැතුව තිබී පරිසරයම වේලුම් කා තිබූ කාලය අවසන් කර පෙරදා රාත්‍රියේ සිට පසුදා පාන්දර වනතුරුම වැසි ඇදහැලෙන්නට වූ දිනයකි. පසුදාට යෙදී තිබූ විවාහ මංගල උත්සවයේ ඡායාරූප ගැනීමට තිබුනේද එලිමහනක නිසා හිතේ දෙගිඩියාවෙන් නින්දට ගිය දිනයක්. උදේ පාන්දරින් අවදිවන විට වැස්ස නැවතී තිබුනි. සැනසුම් සුසුම් හෙලන්නට විය. ඡායාරූප ගැනීමට යන ප්‍රදේශය ගැන අවබෝධයක් තිබුනේද මීට පෙර කිහිප වතාවකම මංගල උත්සව සඳහාම ඡායාරූප ගැනීමටගොස් තිබුන පලපුරුද්ද නිසාය. යන මාර්ගයත්, මග දෙපස ගැනත් අවබෝධයක් මාහට විය. සුපුරුදු පරිදි මාගේ සගයාගේ මෝටර් රථය නිවසට පැමිණිපසු කැමරා ආපන්න ඇතුලු අවශ්‍ය සියලුම උපකරණ පටවාගත් අපි යන්නට පිටත් වුනේ කැමරාව සූදානම්කරගත් මා ඉදිරි අසුනේ හිඳගත් පසුය. වැස්ස නිසාම වෙනදාට වඩා ටිකක් ප්‍රමාදව අපි පිටත් විය. මාහට ලැබී ඇති කාලය මා විසින් කළමනාකරණය කරගෙන තිබිනි. මාර්ගය ඔස්සේ බේරුවල  නගරයෙන් ඇතුලට කිලෝමීටර 4ක් පමණ යාමට අපට සිදුවෙයි. මග දෙපස කුඹුරු යායවල් කිහිපයක් පසුකරවිට හමුවන්නේ රබර් වතුය. පාර දෙපැත්තේ ඇති රබර් ගස් අතරින් යන්තමට හිරුඑලිය එබීබලන ආකාරය පෙනෙන්නට විය. ඒ සමඟම මීදුමෙන් පරිසරයම වෙලාගෙන ඇත. උදෑසන මිනිසුන් තම එදිනෙදා රාජකාරීවලට පිටත්ව යයි. ඒ අතර අපි සෙමින් ඉදිරියට ඇදෙයි මා අත කැමරාව සූදානම්ව ඇත. දුර තියාම මට පෙනෙන්නට වූ දසුනක් විය. එනම් ඈතින් එක් ස්ථානයකට රබර් ගස් අතරින් පාරට වැටී ඇති හිරු කිරණයි. මීදුම කපාගෙන වැටනෙ හිරු එළිය මීදුම නිසාම අපූරුවට පෙනෙයි. ඒ මීදුම් දුමාරයකි. ඒ දසුන බලාගෙන යනවාත් සමඟම ක්ෂනිකව අපේ රථයට පසුවුනේ අම්මාගේ අතින් අල්ලාගෙන ඉදිරියට ඇදෙන දියණියකි. ඔවුන්ව අපට පසුවූයේය. ඒ සමඟම මදක් ඉඳිරියට ගොස් පාරේ අයිනකට කර මෝටර් රථය නතර කරන මෙන් මාගේ මිතුරාට මම කියා සිටියේය. රථය නතර විය. තවම මා ඒ තුලය. ඉදිරියෙන් ඇත්තේ සුන්දර රාමුවකි.එයට අපූර්වත්වය ලැබී ඇත. එහි අපූර්වත්වය දෙගුන වීමට නම් එයට ජීවය ලැබිය යුතුමය. එය තව මොහොතකින් ලැබෙන බව මට ඉතා විශ්වාසය. මෝටර් රථයේ සිට මා බලා සිටින්නේ අපට පසුවූ අම්මා සහ දියණිය නැවත අප පසුකර යනතුරුය. මා අත Canon 6D වර්ගයේ කැමරාව සහ එයට සවිවූ 70-200mm වර්ගයේ Lens එකකි. අම්මත් දුවත් අප පසු කලේය. මා ඔවුන්ට නොදැනෙන්න මෝටර් රථයෙන් බැසගත්තාය. ස්නයිපර් තුවක්කු කරුවකුමෙන් මම ඔවුන්ට නොදැනෙන්නට ඔවුන්ට මීටර් 40ක් පමණ දුරින් ඔවුන් පසුපසය. කැමරාවෙ View Finder එක තුලින් මට අදාල රාමුව සකසාගෙන හමාරය. අදාල ආලෝක තත්වයට සහ, ඉදිරියට යන ප්‍රධාන අරමුණේ චලනයට අදාලව කැමරාවේ සියලු අංග සකසාගෙන හමාරය. ඒ මාගේ වෘත්තීය නිපුනතාවයයි. උච්චතම අවස්තාව තව මොහොතකින් උදාවේ. පාරට වැටී අති හිරු කිරණ යටින් අම්මාත් දුවත් අත් අල්ලාගෙනම ගමන් කරන බව මාගේ විශ්වාසයයි. එය එසේම විය. මගතොට වෙන කිසිවකු නැත. අනවශ්‍ය බාධල නැත. එය ඒ මොහොතේ මාහට වාසනාව උදාකරන්නක් විය. ඡායාරූපශිල්පියෙකුට වාසනාව බලාපායි. මොහොත උදාවිය. Shutter බොත්තම දෙපාරක් ඔබන්නට විය. උදෑසන 7.32 ලෙස පින්තූරයේ සටහන් විය.

සටහන සහ ඡායරූපය  : සුරේෂ් එස්. වීරසිංහ
2020.03.29

ඡායාරූපයක තිරය පිටුපස කතාව The Story Behind The Photo (03) 

"අම්මා"


Photographed By : © Suresh S. Weerasinghe

මා ඡායාරූපකරණය හදාරන්නේ ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයෙන්. එහි පලමු වසරේ ආධුනිකයෙකු ලෙස අධ්‍යාපනය ලබන කාලයේ වාර්ෂික චාරිකාව සඳහා රත්නපුර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක සංචාරයට අවස්ථාවක් උදාවනවා. ඒ 2014 වර්ෂයේ මැයි මස 31 වනදා. එක්දින චාරිකාවක් වන මෙහිදී පෞරාණික වැදගත්කමක් ඇති ස්ථාන දෙකක් සහ බෝපත් ඇල්ලත් ඇතුලුව අවසාන ස්ථානය ලෙස සුමන සමන් දේවාලයට යාමට අවස්ථාව ලැබෙනවා. ආධුනිකයකු වන මා එවකට ඡායාරූපකරණය තුල ළදරු අවදිය ගත කරන ශිෂ්‍යයෙක්. චාරිකාව තුල පින්තූර යම් ප්‍රමාණයක් ලබාගත්තද හිත සතුටුවන ආකාරයේ පින්තූරයක් චාරිකාව පුරාවටම මට ලබාගැනීමට හැකියාවක් ලැබී තිබුනේ නැත. ඒ පිලිබඳව ඇතිවී තිබූ කනස්සල්ලත් සමග අවසානයේ සමන් දේවාලයට යාමට ලැබෙන්නේ හිරිපොද වැස්සකුත් සමගය. ඉතා ඉක්මනින් එම ස්ථානයෙන් පිටත්වීමට අවශ්‍ය බවත් ඒ වනවිටත් චාරිකාවේ සංවිධායන් විසින් සියලුදෙනාටම දන්වා තිබුනි. වැහි අඳුරත් සමග වෙනදාට වඩා අලෝකයේ අන්ධකාරය ඉක්මනින් ගලා එන මොහොතක් උදාවෙමින් තිබුනි. පොද වැස්ස තරමක් අඩු වූ මොහොතක චාරිකාවට සහභාගීවූ සියලුදෙනාගේ සමූහ ඡායාරූපයක් ගැන්මට යුහුසුලුව සියලුදෙනා ක්ෂනිකයෙන් සූදානම් වන්නට විය. සමූහ ඡායාරූපය ගන්නා අවස්ථාවේ නැවතත් වැස්ස පෙරට වඩා තදින් ඇදහැලෙන්නට වූයෙන් සියලු දෙනා වැස්සෙන් බේරීමට වඩා තමන් අත ඇති කැමරා සහ ආම්පන්න ප්‍රවේසම් කරගැනීමේ අදහසින් ආරක්ෂක ස්ථාන කරා දිවයන්නට විය. මමද දේවාල භූමියේ ඉහලට ඇති පඩිපෙල ඔස්සේ  උස ස්ථානයකට නැග ආරක්ෂාවට කැමරාවද ලඟ තබාගෙන පරිස්සමට කෙලවරකට වී සිටියේය. කලබලේට එම  ස්ථානයට ගිය නමුත් එතැනට දේවාල පුදබිමේ වැඩි කොටසක් පෙනෙන්නට වූයේ උස ස්ථානයක මා සිටින නිසාය. පුලුල් වූ කෝණයක් දෑසට පෙනුන නිසාම කැමරාව තුලින්ම එය නැරඹීමේ උනන්දුවක් මාතුල හටගත්තේය. වැස්ස නිසා ඔබ මොබ දිවයන මිනිසුන් මාහට කැමරා කාචය තුලින්ම දකින්නට විය. ඒවන විට ඉතා අඩු ආලෝක තත්වයක් පැවති මොහොතකි. මා සිටින තැන සිට ඉදිරියට පහලින් ඇති පාර මීටර 100ක් පමන සරලරේඛීයව දිවෙන පාරකි. කැමරාව තුලින්ම මා නෙත දැක්කේ කුඩා දරුවකු ලයට තුරුලුකර කුඩයත් සමග ඉදිරියට දිවයන මවකි. අඩු ආලෝක තත්වය නිසාම ක්ෂනිකව කැමරාවෙන් ඇස නොගෙනම ආලෝක තත්වය වැඩිකරගැනීමේ උපක්‍රම භාවිතා කලේය. එවකට මා භාවිතා කලේ Nikon D90 වර්ගයේ කැමරාවකි. 18-105mm ප්‍රමාණයේ Lens එකද මා සතුවිය. මොහොතකින් මාගේ කැමරා කාචයේ පින්තූර දෙකක් සටහන් කරගන්නට හැකිවිය. ඊට වඩා අවස්තාවක් නොලැබුනේ ඒ මව ඉතා ඉක්මනින් දරුවාද සමග යන්නට වූ නිසාය. කෙසේ නමුත් අවසානයේ සැනසුම් සුසුමක් හෙලන්නට වූයේ "මේ මදැයි" යැයි තනිවම සතමින්ය. වේලාව සවස 5.46 ලෙස ඒ පින්තූරයේ සටහන් වී තිබුනි. කෙසේ නමුත් මේ ඡායාරූපයේ අපූර්වත්වය මා දකින්නේ ඉන් වසර 4කට පසුවය. ඒ වනවිට මම වසර 3ක ඡායාරූප ඩිප්ලෝමාවද අවසන් කර තිබුනි. ඉතා හදිස්සියට මේ ශිල්පය ඉගෙන ගන්නට නොහැකි බව කාලයත් සමඟ මා හොඳින් තේරුම්ගත් කාරනාවකි. මාගේ මතකය දිවයන්නේ ඡායාරූප කලා සංගමය තුල අධ්‍යාපනය ලබන්නට ලියාපදිංචි වී සිටි සිසුන් 270කට ආසන්න පිරිසකගෙන් අවසානයේ 17 දෙනෙක් පමනක් ඩිප්ලෝමාව අවසන්කර පිටව ගිය හැටිය. කාලයත් සමග, අභ්‍යාස සමග අපූර්වත්වය දකින්නට ඇස ඉබේටම සැකසේ. ඒ මා ලද අධ්‍යාපනය නිසාමය. වැස්ස ඡායාරූප වලට කියාපු සාධකයක් බව මා ඉගෙනගන්නේ කාලයත් සමගය. ඡායාරූපය ලබාගන්නා කෝනය නිර්මාණයක් ප්‍රභල වීමට බලපාන බව මා ඉගෙනගන්නේත් කාලයත් සමගය. නිදහස් වෙලාවක පරිඝනකය තුල ඇති පින්තූර ගොඩවල් අවුස්සන්නට වුන මොහොතක මෙය මා නැවත දකින්නට විය. මෙහි අපූර්වත්වය මා දැක්කේ එවිටය. සමහරදේවල් වල වටිනාකමක් දැනෙන්න කාලයක් ගතවන බව මට මේ ඡායාරූපය දැකීමෙන් දැන් පැහැදිලිවේ. එයට හේතුව මේ වන විට මාතුල ඇති දැනුම සහ නිපුනතාවයි. කෙසේ නමුත් මේ ඡායාරූපයද ශ්‍රීලංකාව තුල සහ විදේශීය ඡායාරූප ප්‍රදර්ශන සඳහා තේරීපත්වූ ඡායාරූපයකි.

සටහන සහ ඡායරූපය : සුරේෂ් එස්.වීරසිංහ
2020.03.28

ඡායාරූපයක තිරය පිටුපස කතාව The Story Behind The Photo (02)

Saturday, March 28, 2020

" පිම්ම "

මා වඩාත් ප්‍රිය කරන්නේ සජීවී මොහොතක් නිශ්චලව ඡායාරූපයට නගා ගැනීමටයි. ඒ අවස්ථාවේ අප දකින දෙයිනුත් හොඳම මොහොත ඡායාරූප ගත කිරීම තමයි දක්ශතාවය. ජනමාධ්‍ය සහ ක්‍රීඩා ඡායාරූපශිල්පීන් විසින් සිදු කරන්නට උත්සහ කරන්නේත් එයයි. මගේ වැඩි කැමැත්තද එයයි. මේ ඡායාරූපය මම ගන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගිය අවස්ථාවක. මමත් මගේ බිරිඳත් දුවත් මගේ මිතුරෙකුත් 2017 අවුරුද්දේ අප්‍රියෙල් නිවාඩුවට ත්‍රිකුණාමලයේ ගියා. ත්‍රිකුණාමලයේ සිට පුල්මුඩේ දක්වා දිවෙන මාර්ගයේ කිලෝමීටර 40ක් ගියපසු හමුවන එකම සිංහල ගම්මානය වන සාගරපුර ගමේ අරණ්‍ය පුදබිම කිට්ටුව ඇති පන්සල තමයි අපේ නවාතැන වෙන්නෙ. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුච්ච්වේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයිති මේ ගමේ පන්සලට පහලින් තිරියායි පාලම අසල ඇති කලපුව්වේ සංචාරක ධීවරයන් පිරිසක් තම ජීවිකාව කරගෙන යන වාඩියක් තිබුනා. හරියටම මේ තැන තියෙන්නෙ 40 වන කිලෝමීටර් කනුව අසලමයි. දින කිහිපයක් අපි එහි සිටියා. ඒ දිනවල කරේ සුපුරුදු පරිදි කැමරාවත් එක්ක කරන සංචාරයම තමයි. දිනක් අපි ත්‍රිකුණාමලයේ ගොස් නැවත පැමිණෙන අවස්ථාවේ වාඩියේ සිටි දරුවන් පිරිසක් අවුරුදු උත්සවයක් පවත්වමින් හිටිනු දක්නට ලැබුනා. අහම්බෙන් වගේ මේ තැනට යන්නට ලැබුන අවස්ථාව හොඳම අවස්ථාවක් වෙයි කියන ලකුණු මම දුරතියාම දැක්ක. ඒක දරුවන් හය හත් දෙනෙක් එකතුවෙලා කරන එයාලගෙම අවුරුදු උත්සවයක්. එක්කෙනෙකුගේ අතේ කොලයක් තිබෙනු දක්නට ලැබුනා. එහි ලියාතිබුනේ මේ අවුරුදු උත්සවයට අදාල තරග විස්තරය.එයාලම විනිශ්චය කරගෙන තමයි මේ අවුරුදු උත්සවය කරගෙන ගියේ. වාඩියේම සිටින මහලු වැඩිහිටියන් කෙනෙක් දෙන්නෙක් හැරෙන්නට මේ අවුරුදු උත්සවය බලන්නට පැමිණසිටියේ අප පමණකි. වාඩියේ සිටි අය තමන්ගේ රාජකාරිවල නිරතවෙමින් සිටිනු දක්නට ලැබුනා. අවුරුදු උණුසුමේ අවුරුදු උත්සවයක් පැත්ත පලාතකවත් නැති ප්‍රදේශයක ජීවත් වෙන මේ දරුවන්ට  ලොකු ආසාවක් හිතේ තියෙන්න ඇති. සිංහල පවුල් 12 ක් පමන ජීවත්වන මේ ප්‍රදේශයේ ඇති එකම සිංහල ගම්මානය තමයි සාගරපුර. හැබැයි මේ සංචාරක ධීවරයන් හලාවත ප්‍රදේශයේ අය. පවුල් 15ක් පමන මේ වාඩියේ ජීවත් වෙනවා. අවුරුදු උණුසුමේ එයාල පවත්වපු අවුරුදු උත්සවයේ එක් අවස්තාවකදී ගන්නට ලැබුනු ඡ්යාරූපයක් තමයි මේ. මේ එයාලගෙ බාධක දිවීමේ ඉසව්වේ උද්වේගකරම අවස්තාවක්. ෂොපින් බෑග් වලට වැලි පුරවල කනාමුට්ටි ගහපු හැටිත් විශේෂයි. එයාලට තෑගි දෙන්න කවුරුවත් හිටියෙ නෑ. අපි ලඟ තිබුන බිස්කට් පැකට් කිහිපයක් එයාලගෙ තෑගි වලට දෙන්න අපිට පුළුවන් වුනා. 2017 රාජ්‍ය ඡායාරූප උළෙලේ ජනමාධ්‍ය හා ක්‍රීඩා අංශයට මම ඉදිරිපත් කරපු මේ ඡායාරූපයට කුසලතා සම්මානයකුත්, ජාත්‍යන්තර ඡායාරූප තරඟ කිහිපයක ප්‍රදර්ශනය සඳහා තේරීපත්වීමටත් මේ ඡයාරූපය සුදුසුකම් ලැබුවා.

සටහන සහ ඡායරූපය : සුරේෂ් එස්. වීරසිංහ
2020.03. 27

Photographed By : © Suresh S. Weerasinghe

ඡායාරූපයක තිරය පිටුපස කතාව The Story Behind The Photo (01)