Photographed By : © Suresh S. Weerasinghe
මා ඡායාරූපකරණය හදාරන්නේ ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයෙන්. එහි පලමු වසරේ ආධුනිකයෙකු ලෙස අධ්‍යාපනය ලබන කාලයේ වාර්ෂික චාරිකාව සඳහා රත්නපුර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක සංචාරයට අවස්ථාවක් උදාවනවා. ඒ 2014 වර්ෂයේ මැයි මස 31 වනදා. එක්දින චාරිකාවක් වන මෙහිදී පෞරාණික වැදගත්කමක් ඇති ස්ථාන දෙකක් සහ බෝපත් ඇල්ලත් ඇතුලුව අවසාන ස්ථානය ලෙස සුමන සමන් දේවාලයට යාමට අවස්ථාව ලැබෙනවා. ආධුනිකයකු වන මා එවකට ඡායාරූපකරණය තුල ළදරු අවදිය ගත කරන ශිෂ්‍යයෙක්. චාරිකාව තුල පින්තූර යම් ප්‍රමාණයක් ලබාගත්තද හිත සතුටුවන ආකාරයේ පින්තූරයක් චාරිකාව පුරාවටම මට ලබාගැනීමට හැකියාවක් ලැබී තිබුනේ නැත. ඒ පිලිබඳව ඇතිවී තිබූ කනස්සල්ලත් සමග අවසානයේ සමන් දේවාලයට යාමට ලැබෙන්නේ හිරිපොද වැස්සකුත් සමගය. ඉතා ඉක්මනින් එම ස්ථානයෙන් පිටත්වීමට අවශ්‍ය බවත් ඒ වනවිටත් චාරිකාවේ සංවිධායන් විසින් සියලුදෙනාටම දන්වා තිබුනි. වැහි අඳුරත් සමග වෙනදාට වඩා අලෝකයේ අන්ධකාරය ඉක්මනින් ගලා එන මොහොතක් උදාවෙමින් තිබුනි. පොද වැස්ස තරමක් අඩු වූ මොහොතක චාරිකාවට සහභාගීවූ සියලුදෙනාගේ සමූහ ඡායාරූපයක් ගැන්මට යුහුසුලුව සියලුදෙනා ක්ෂනිකයෙන් සූදානම් වන්නට විය. සමූහ ඡායාරූපය ගන්නා අවස්ථාවේ නැවතත් වැස්ස පෙරට වඩා තදින් ඇදහැලෙන්නට වූයෙන් සියලු දෙනා වැස්සෙන් බේරීමට වඩා තමන් අත ඇති කැමරා සහ ආම්පන්න ප්‍රවේසම් කරගැනීමේ අදහසින් ආරක්ෂක ස්ථාන කරා දිවයන්නට විය. මමද දේවාල භූමියේ ඉහලට ඇති පඩිපෙල ඔස්සේ උස ස්ථානයකට නැග ආරක්ෂාවට කැමරාවද ලඟ තබාගෙන පරිස්සමට කෙලවරකට වී සිටියේය. කලබලේට එම ස්ථානයට ගිය නමුත් එතැනට දේවාල පුදබිමේ වැඩි කොටසක් පෙනෙන්නට වූයේ උස ස්ථානයක මා සිටින නිසාය. පුලුල් වූ කෝණයක් දෑසට පෙනුන නිසාම කැමරාව තුලින්ම එය නැරඹීමේ උනන්දුවක් මාතුල හටගත්තේය. වැස්ස නිසා ඔබ මොබ දිවයන මිනිසුන් මාහට කැමරා කාචය තුලින්ම දකින්නට විය. ඒවන විට ඉතා අඩු ආලෝක තත්වයක් පැවති මොහොතකි. මා සිටින තැන සිට ඉදිරියට පහලින් ඇති පාර මීටර 100ක් පමන සරලරේඛීයව දිවෙන පාරකි. කැමරාව තුලින්ම මා නෙත දැක්කේ කුඩා දරුවකු ලයට තුරුලුකර කුඩයත් සමග ඉදිරියට දිවයන මවකි. අඩු ආලෝක තත්වය නිසාම ක්ෂනිකව කැමරාවෙන් ඇස නොගෙනම ආලෝක තත්වය වැඩිකරගැනීමේ උපක්‍රම භාවිතා කලේය. එවකට මා භාවිතා කලේ Nikon D90 වර්ගයේ කැමරාවකි. 18-105mm ප්‍රමාණයේ Lens එකද මා සතුවිය. මොහොතකින් මාගේ කැමරා කාචයේ පින්තූර දෙකක් සටහන් කරගන්නට හැකිවිය. ඊට වඩා අවස්තාවක් නොලැබුනේ ඒ මව ඉතා ඉක්මනින් දරුවාද සමග යන්නට වූ නිසාය. කෙසේ නමුත් අවසානයේ සැනසුම් සුසුමක් හෙලන්නට වූයේ "මේ මදැයි" යැයි තනිවම සතමින්ය. වේලාව සවස 5.46 ලෙස ඒ පින්තූරයේ සටහන් වී තිබුනි. කෙසේ නමුත් මේ ඡායාරූපයේ අපූර්වත්වය මා දකින්නේ ඉන් වසර 4කට පසුවය. ඒ වනවිට මම වසර 3ක ඡායාරූප ඩිප්ලෝමාවද අවසන් කර තිබුනි. ඉතා හදිස්සියට මේ ශිල්පය ඉගෙන ගන්නට නොහැකි බව කාලයත් සමඟ මා හොඳින් තේරුම්ගත් කාරනාවකි. මාගේ මතකය දිවයන්නේ ඡායාරූප කලා සංගමය තුල අධ්‍යාපනය ලබන්නට ලියාපදිංචි වී සිටි සිසුන් 270කට ආසන්න පිරිසකගෙන් අවසානයේ 17 දෙනෙක් පමනක් ඩිප්ලෝමාව අවසන්කර පිටව ගිය හැටිය. කාලයත් සමග, අභ්‍යාස සමග අපූර්වත්වය දකින්නට ඇස ඉබේටම සැකසේ. ඒ මා ලද අධ්‍යාපනය නිසාමය. වැස්ස ඡායාරූප වලට කියාපු සාධකයක් බව මා ඉගෙනගන්නේ කාලයත් සමගය. ඡායාරූපය ලබාගන්නා කෝනය නිර්මාණයක් ප්‍රභල වීමට බලපාන බව මා ඉගෙනගන්නේත් කාලයත් සමගය. නිදහස් වෙලාවක පරිඝනකය තුල ඇති පින්තූර ගොඩවල් අවුස්සන්නට වුන මොහොතක මෙය මා නැවත දකින්නට විය. මෙහි අපූර්වත්වය මා දැක්කේ එවිටය. සමහරදේවල් වල වටිනාකමක් දැනෙන්න කාලයක් ගතවන බව මට මේ ඡායාරූපය දැකීමෙන් දැන් පැහැදිලිවේ. එයට හේතුව මේ වන විට මාතුල ඇති දැනුම සහ නිපුනතාවයි. කෙසේ නමුත් මේ ඡායාරූපයද ශ්‍රීලංකාව තුල සහ විදේශීය ඡායාරූප ප්‍රදර්ශන සඳහා තේරීපත්වූ ඡායාරූපයකි.
සටහන සහ ඡායරූපය : සුරේෂ් එස්.වීරසිංහ
2020.03.28
ඡායාරූපයක තිරය පිටුපස කතාව The Story Behind The Photo (02)
හොඳ ප්‍රවේශයක් පුතා. දිගටම කරගෙන යන්න. බොහෝ දෙනෙක් කැමති වේවි.
ReplyDeleteස්තූතියි. දිගටම ලියනව.
ReplyDelete