Photographed By : Suresh S. Weerasinghe
ඡායාරූප ශිල්පියෙක් ලෙස බහතෝරන කාලයේම මා හට වාසනාව ගෙනා ඡායාරූපය මෙයයි කියන්නට හැර අන් කිසිවකුත් නොව. එකල මම ජාතික ඡායාරූප කලා සංගමයේ ඩිප්ලෝමාව හදාරන කාලයේ දෙවන වසරේ සිසුවකු ලෙස අධ්‍යාපනය ලබන අවදියකි. අපට වාර්ෂිකව පැවැත්වෙන වැඩමුළු කිහිපයකි. ඉන් අනිවාර්ය එකක් විහාරමහදේවී උද්‍යානයේ සිදුකෙරේ. සාමාන්‍යයෙන් සිදුකෙරෙන පිළිවෙතක් තිබේ. උදෑසන සිට සවස් වනතුරු විද්‍යාර්ථයින් හට රිසිසේ ඡායාරූප ගැනීමට අවස්ථාව සලසාදෙයි.කිසිවකුටත් බාධාවක් නොවන පරිදි එම කටයුත්ත කරගැනීමට උපදෙස් අපහට ලැබේ. විශේෂ අවසරයක් හට අප සංගමයේ විද්‍යාර්ථයින්ට එම අවස්ථාව ලැබේ. එය අප සංගමය හරහා පමණක් සිදුවන්නකි. මෙමෙ වැඩමුළුවේ විශේෂත්වය වන්නේ එහිදී ලබාගන්නා හොඳම කලුසුදු ඡායාරූපයට විශේෂ ශූරතා පලිහක් පිරිනැමේ. එනිසාම බොහෝදෙනෙක් එදිනට වැඩි උනන්දුවකින් ඡායාරූප ගැනීමට පෙළඹෙයි. මෙය ගුරුවරුන්ගේ මගපෙන්වීම යටතේ සිදුවන්නකි. මෙම වැඩමුළුව පැවැත්වුනේ 2015 වසරේ මැයි මාසයේ 17 වනදාය.
එදින මා එහි ළඟාවනවිට උදෑසන 6.15 පමණ විය. ඒ මොහොත වන විට 10ක් 15ක් පමණවත් පැමිණ සිටියේ නැත. උදෑසන 7 පමණ වන විට සැලකියයුතු පිරිසක් පැමිණියද උදෑසන 8 පමණ වන විට 250ක පමණ පිරිසකගෙන් පිරී ගොස් තිබුණි. ගුරුවරයෙකුගේ විශේෂ දේශනයකින් පසු වැඩමුළුව ආරම්භ වේ. ඊට පෙර වසරේදී මේ අවස්ථාව මට මගහැරිගියේ අත්‍යවශ්‍ය කටයුත්තක් නිසා පැමිණීමට නොහැකිවූ නිසාය. ඒ නිසාම වැඩි උනන්දුවක් මට නොතිබුණාම නොවේ. සහෝදර විද්‍යාර්ථයින් සමග අල්ලාප සල්ලාප දොඩන්නටත් විනෝදයටත් හොඳම දවසක් තමයි මේ. උදෑසන කාලයේ ඉතා උනන්දුවකින් සියලුදෙනාමපහේ කටයුතු කරත් දහවල් කාලය උදාවත්ම ඡායාරූප ගැනීම කෙසේවෙතත් එහෙ මෙහෙ ඇවිදිමින් විනෝදවෙමින් තැන තැන කල්ලි ගැසී නොයෙක්දේ කරමින් කියමින් කාලය ගතකිරීමට බොහෝ දෙනෙක් ප්‍රිය කරයි. දිවා ආහාරය ගැනීමෙන් පසුව පැමිණ සිටි අයගෙන් හරි අඩක් පමණ ආපසු යන අතර සවස 3,4 පමණ වන විට ඉතා සුළු පිරිසක් ඉතුරුවේ. සවස් කාලයේ කුඩා දරුවන් විශාල ප්‍රමාණයක් විහාරමහාදේවී උද්‍යානයට එකතුවෙයි. එය කව්රුත් දන්නා කාරණාවකි. ඒ මොහොත උදාවනවිට වැඩිදෙනෙක් බලාසිටියි. මමද කුඩා දරුවන්ගේ ඡායාරූප ගැනීමට එකල සිටම විශේෂ කැමැත්තක් දක්වන අතර පසුකාලීනව එය මා සතු සුවිශේෂී හැකියාවක් විය. එය මාගේ ඡායාරූප රසවිඳින කෙනෙකුට කාලයත් සමග වැටහේ. කෙසේනමුත් ඒවනවිටත් සැලකිය යුතු සාර්ථක පින්තූරයක් මාහට නොතිබුන බැවින් බලාපොරොත්තු තබාගෙන සිටියේය. සවස් වන විට කුඩා දරුවන් කිහිපදෙනෙකුගේ ඡායාරූප කිහිපයක් ගැනීමට මට හැකිවිය. ඉන් නොනැවතුන මා උත්සාහය ඇත හැරියේ නැත.
උදයේ සිට දහවල් වනතුරුත් එකට රංචුගැසි ඡායාරූප ගැනීමට ඇවිද යන්නටවූ මට ගුරුවරයා උදේ කී කාරණාවක් මතකයට ආවේය. " හැමෝම කල්ලි ගැහිල පින්තූර ගන්න යන්න එපා. එතකොට හැමෝම ගන්නේ එකම දේවල්." එතකොට වෙන්නේ එකම වගේ පින්තූර ටිකක් තමයි ඔයාලට ලැබෙන්නේ." "පුළුවන් තරම් තනිවෙන්න බලන්න." "එහෙම වුනාම විශේෂ දේවල් පේන්න ගන්නවා." එය සිහිවීමත් සමගම මම අපේ රැලෙන් වෙන්වන්නට වූයේ කිසිවකුටත් නොදැනීමය. සවස 5 පමණ වන විට උද්‍යානයේ ඇති වතුර මල් ක්‍රියාත්මක වේ. ඒවයෙන් ඉහලට විදින වතුර වැස්සක් ලෙස පොළොවට අදැහැලෙයි. මේ මල් වැස්සේ තෙමෙන්නට කුඩා දරුවන් අතිශය ආශාවක් දක්වයි. මම ඔවුන්ගේ විනෝදය දෙස බලා සිටියේද ඉතා ආශාවෙන්ය. මදකට මට ඡායාරූප ගැනීමේ කටයුත්තද අමතකව ගොස් තිබුණේය.
මා අවදිවූයේ යම් අපූරු සිදුවීමක් දුටු සැනින්ය. කහ පාට ගවුම් දෙකකින් සැරසුණු දැරියන් දෙදෙනෙක් කොහේදෝ සිට මේ වැස්සේ තෙමෙන්නට ආවේය. මා ඔවුන් දෙදෙනාතුල විශේෂයක් දුටු නිසාම තරමක් කිට්ටුවන්නට විය. ඔවුන් ඉතා ප්‍රීතියෙන් තෙමි තෙමී විනෝද වන්නට විය. මා තවත් කිට්ටුවන්නට විය. ඔවුන් තුල ඇති සුවිශේෂී බව හඳුනාගන්නට මට හැකිවූයේ එවිටය. ඒ සම නිවුන් දරුවන් දෙදෙනෙකි. මේ සුවිශ්ෂී අවස්තාව අත්නොහැරීමට මම අධිෂ්ඨානය කරගතිමි. මට කෙසේහෝ ඔවුන් දෙදෙනාව එකම රූප රාමුවකට ගැනීමට උවමනාවක් තිබුන නමුත් ඔබමොබ දුවනා කුඩා දරුවන්ගෙන් ඔවුන් දෙදෙනා වෙන්කරගැනීම ඉතාමත්ම අසීරු කටුත්තක් විය. එහෙමෙහෙ දුවන මේ දැරියන් දෙදෙනා එකම රාමුවකට ගැනීම කෙසේ කලහැකිද? එය කලහැක්කේ මටම පමණකි. මා ඉවසිලිවන්තව සිටියෙමි. ඔවුන්ගේ උපරිම සතුට දනවන ඉරියව්ව එකම රාමුවකට ගැනීමට හැකිනම් එය මොනතරම් වාසනාවක්ද. වෙන කව්රුන් හෝ කොහේ හෝ සිට මාගේ කුරුමානමටම ඇහැගහගෙන ඇතිදැයි ආත්මාර්ථකාමී සැකයක්ද හිතයට වදදෙයි. වාසනාව මා හැරගොස් නොතිබුණි.
පැයක පමණ උත්සාහය මල් ඵල ගැන්වුයේ මොහොතකිනි. කැමරාව තුලින් බලාගෙනම මේ කුඩා දැරියන් දෙදෙනාව ලුහුබඳින්නට වූ මට එකම රාමුවක, උතුරායන සතුටින්, දිවයන දසුනක් මොහොතකින් හසුකරගැනීමට හැකිවිය. එවකට මා අත තිබුන Canon 70D වර්ගයේ කැමරාවෙන් 18-135mm වර්ගයේ Lens එක භාවිතාකරමින් ඡායාරූප ගන්නට වූ මගේ කැමරාවේ සවස 5.09 ලෙස වේලාව සටහන් වී තිබුණි. කෙසේ නමුත් මේ වැඩමුළුවේ හොඳම කලුසුදු ඡායාරූපයට හිමි ස්ථානය මට නොලැබී ගියේ මගේ පින්තුරයේ මුද්‍රණයේ තිබුන යම් දෝෂයක් නිසා බව තරඟ විනිශ්චය කල ගුරුවරයෙකු මට කීවේ පින්තූරයේ ගුණදොස් අසන්නට ගිය වේලාවේය. මට දෙවන ස්ථානය ලැබුනේ ඒ හේතුව නිසා බව ගුරුවරයා මට කීවේ මා දිරිමත් කරමින්ය. ඒ ලබාගත් ඔවදන් නිසාම මම ප්‍රථම වරට ජාත්‍යන්තර තරඟයකට මේ පින්තූරය ඉදිරිපත් කළේය. මා ඉදිරිපත් වූ පළවෙනි ජාත්‍යන්තර ඡායාරූප තරඟයේ ප්‍රදර්ශනය සඳහා මේ ඡායාරූප තේරීපත්විය. ඒ එම වසරේමය. එතැන් පටන් මා ඡායාරූප ඉදිරිපත් කල ජාත්‍යන්තර තරඟ වැඩිම ගණනක ප්‍රදර්ශනය සඳහා තේරීපත්වී ඇත්තේ මෙම ඡායාරූපයයි. එමෙන්ම සම්මාන දෙකක්ද මේ ඡායාරූපයට ලැබීතිබේ. බොහෝදෙනා මා හඳුනාගන්නා මාගේ සලකුණ ලෙසටද මෙය මට මෙන්ම මාගේ ඡායාරූප රසවිඳින අයටද සමීප විය.
සටහන සහ ඡායාරූපය : සුරේෂ් එස්. වීරසිංහ

No comments:
Post a Comment